අපේ මූදු රස්‌සාවට ආණ්‌ඩුවෙන් සුනාමියක් !
අපේ රටේ ධීවර ගැටලුත් මහා සාගරය බඳුය. නිමක් කොනත් නැත. ධීවරයන් පාරට බැස උද්ඝෝෂණ කිරීම ද රටේ මිනිස්‌සුන්ට අරුමයක් නොවේ. එමෙන්ම ඒ උද්ඝෝෂණ අතරතුර වෙඩි කා මියගිය ධීවරයන් ද, ගුටි බැට දී හතර හන්දි කඩා දැමූ ධීවරයන් ගැන ද අපි ඕනෑ තරම් අසා තිබේ. එහෙත් ගැටලුවලට විසඳුම් නොලැබෙන තැන ධීවරයන් පාරට බසින එක සක්‌කරයාගේ පුතා වයිමාටවත් නතර කිරීමට ද නොහැකිය. යළිත් වරක් රටේ ධීවරයෝ පාරට බැස සිටිති. ඒ අයවැයෙන් සහන ඉල්ලීමට නොවේ, යුරෝපා සංගමය විසින් අපේ රටේ මාළු ගැනීම තහනම් කිරීම වළක්‌වන්නැයි මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමටය.
පසුගියදා හලාවත ධීවරයන් කොළඹට පැමිණ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය දොරකඩ සමකාමී උද්ඝෝෂණයක නිරත වූහ. එහෙත් අමාත්‍යංශ මැරයෝ ඒ අසරණ ධීවරයන්ට ගෝත්‍රික ලෙස ගල් මුල්වලින් පහර දී පලවා හැරීමට තැත් කළහ. මැර ප්‍රහාරය හමුවේ උද්ඝෝෂකයෝ විසිර ගියහ. ගැටලුව තවමත් එතැනමය. මේ ලියන මොහොත වන විටත් විසඳුම් නැති යුරෝපා මාළු තහනම සමග ඒ තුළ ගිලී මිය යන්නට නියමිතව සිටිනා ධීවරයන් යළිත් අප සමග කතා කළහ. දැන් අපි සිහිබුද්ධියෙන් අසා සිටිමු. හලාවතින් කොළඹ ඇවිත් ධීවර අමාත්‍යාංශ මැරයන්ගෙන් අම්බානට ගුටි කෑ ධීවරයෝ කතා කරති. ඔවුන් කියන කතාව අපේ වචනයෙන් කියනවාට වඩා ඔවුන්ගේම වචනයෙන් ඇසෙන විට හදවතේ ගැඹුරුම තැනට වදින්නේය. එහෙයින් ධීවරයන් කියන කතාව ඔවුන්ගේ භාෂාවෙන් අපි මෙසේ පෙළ ගස්‌වා තබමු.
'බල්ලෝ වගේ හපා කන්න අපේ ඇඟට පැන්නා. ඒත් අපි බණින්නට ගහන්න ගියේ නෑ. අපිට ඕනෑ වෙලා තිබුණෙත් ඔය ටික කරගන්නයි. දැන් මුළු රටම දන්නවා බලු වැඩ කරන්නේ කවුද කියලා...' ලැබුණු ගල් මුල් ප්‍රහාරය මල් වරුසාවක් යෑයි පවසන්නේ සමස්‌ත ලංකා බහුදින යාත්‍ර හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්තය.
'අපි ගියේ අපේ මහගෙදරට... ධීවර ප්‍රශ්න එතැනට කියන්නේ නැතුව වෙන කොහේට කියන්නද... ඒත් මහගෙදර ඇත්තො අපිට හොඳ ආගන්තුක සත්කාරයක් කළා. අපිටත් තිබුණා ඔය අමාත්‍යාංශය බිමට සමතලා කරන්න... ඒත් උන් මෝඩ වුණාට අපි මෝඩ නෑ...' අමාත්‍යාංශ මැරයන්ගෙන් ගුටි කා තවමත් වේලුම්පටි සහිත තුවාල ඇති සුජිත් තරංග ද ඔවුන්ට ලැබුණු මැර ප්‍රහාරය ගැන එසේ සතුටු වූයේය. සුජිත් දෙදරු පියෙකි. වෘත්තියෙන් බෝට්‌ටු පදවන්නෙකි. මැරයන්ගේ ගල් පහරට ඔහුගේ එක ඇසක් බේරී ඇත්තේ අනූ නවයෙනි. පසුව අපේ කතාවට සම්බන්ධ වූයේ සමස්‌ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් මයාමි ෂමෝලිකාය. ඇය යුරෝපා මාළු තහනම ගැන විස්‌තරාත්මකව අපට මෙසේ පැහැදිළි කළාය.
යුරෝපා සංගමය අපේ රටට රෙඩ් කාඩ් එක පෙන්නලා වැරැදි හදාගන්න කාලයක් දීලා තියෙනවා. ප්‍රධාන වශයෙන් නිවැරදි කළ යුතු වැරැදි අටක් පෙන්නලා තියෙනවා. එක මීටර් විසිහතරට වඩා දිග නැව්වලට වී.එම්.එස්. තාක්‍ෂණික මෙවලම් සවි කිරීම. ඒවගේම නිරීක්‍ෂකයන් ඇතුළත් කිරීම. මීටර් විසි හතරට වඩා අඩු යාත්‍රාවලටත් වී. එම්. එස් උපකරණයක් සවි කිරීම. එම යාත්‍රා නිරීක්‍ෂණය කරන්න ගොඩබිමේ මධ්‍යස්‌ථානයක් පිහිටුවීම. මීටර් විසිහතරට වඩා වැඩි යාත්‍රාවක් මුහුදේදී යම් නීතියක් උල්ලංඝනයක් කළොත් දැනට දඩ වශයෙන් අය කරන රුපියල් ලක්‍ෂ දහයක මුදල මිලියන එකසිය විස්‌ස දක්‌වා වැඩි කිරීම. යුරෝපා සංගමය ඒ වගේ කොන්දේසි අටක් අපේ රටට ඉදිරිපත් කරලා තියෙනවා. මේ කොන්දේසි ඉදිරිපත් කළේ අද ඊයේ නෙමෙයි 2012 අවුරුද්දේ දෙසැම්බර් මාසේ. අපේ රටට විතරක් නෙමෙයි, තවත් රටවල් කිහිපයකටම යුරෝපා සංගමය මේ නීති මාලාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හැම රටක්‌ම වැරැදි නිවැරදි කරගත්ත අතර අපේ රටේ ධීවර බලධාරීන් ඒ කොන්දේසි පයිසෙකට ගණන් ගත්තේ නෑ. එහෙම තියෙද්දිත් යුරෝපා සංගමය අපේ රටට තවත් මාස තුනක කාලයක් දීලා තියෙනවා. දිගින් දිගටම යුරෝපා සංගමය අපට එහෙම සහන දෙන්නේ අපේ මාළුවල තිබෙන ගුණාත්මක තත්ත්වය නිසයි. යුරෝපා සංගමය කැමැති නෑ අපේ මාළු යුරෝපා වෙළෙඳපොළෙන් ඉවත් කරගන්න. වෙනත් රටවල් එක්‌ක බලනකොට අපේ රටේ මාළුවල ගුණාත්මක තත්ත්වය ඉතාම ඉහළයි.ඒ වගේම සප්පරා සහ කොප්පරා මාළුවලටත් සැලකිය යුතු ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම ටූනා මාළුවලට යුරෝපීය රටවල ඉතාම හොඳ ඉල්ලුමක් තියෙනවා. යුරෝපීය වෙළෙඳපොළේ අංක එකට තියෙන්නේ අපේ මාළු. ඒ තැනට එන්න අපිට අවුරුදු විසි පහක් විතර ගිහින් තියෙනවා. අපේ මාළු ගැන වගේම අපේ අපනයන ආයතන ගැනද යුරෝපීය රටවලට හොඳ විශ්වාසයක් තියෙනවා. දීර්ඝ කාලයක සිට ගොඩනැඟුණු ඒ විශ්වාසය මත අපේ අපනයන වෙළෙඳුන් යුරෝපීය රටවලට මාළු යවන්නේ පසුව මුදල් ගැනීමේ පදනම මතයි. ඒ නිසා අදටත් යුරෝපීය මාළු මිලට ගැනීමේ ආයතනවලින් අපේ රටේ මාළු අපනයන ආයතනවලට යුරෝ මිලියන ගණන් ණය තියෙනවා. යුරෝපා සංගමය කියන විදිහට 2015 ජනවාරි 14 වැනිදා මාළු තහනම ක්‍රියාත්මක වුණොත් ලැබෙන්න තියෙන ඒ මුදලුත් නොලැබී යනවා. එහෙම වුණොත් මහා පරිමාණ මාළු අපනයන ආයතන බංකොලොත් වෙනවා. මෙරට සමස්‌ත ධීවර කර්මාන්තයම කඩාවැටෙනවා. ඒක කාටවත් නතර කරන්න බැහැ. දැනටත් ධීවර කර්මාන්තය ආරක්‍ෂා වෙලා තියෙන්නේ අපනයන වෙළෙඳාම නිසයි. ඒ වගේම බහුදින ධීවර යාත්‍රාවලින් වැඩිපුර අල්ලන්නේ ටූනා මාළු. එක බහුදින බෝට්‌ටුවකින් ධීවර පවුල් හතක් යෑපෙනවා. ඊට අමතරව ඒ බෝට්‌ටු ආරක්‍ෂකයින්, අයිස් සපයන ආයතන වගේම තවත් රැකියා විශාල සංඛ්‍යාවක් බහුදින ධීවර කර්මාන්තය වටා ගොඩනැගිලා තියෙනවා. මේක දම්වැලක්. තහනම ක්‍රියාත්මක වුණොත් මේ දම්වැල කැඩිලා කුඩු වෙලා යනවා...' මයෝමි ධීවර කර්මාන්තට ලාබාල වුවද කරුණු පැහැදිලි කරන අන්දමට ඇය දැනුමෙන් මුහුකුරා ගිය තරුණියකි. ඇය දැනටමත් මාළු අපයනය කරන ව්‍යාපාරයක් කරගෙන යන්නීය. ඇයට තියෙන බිය ව්‍යාපාරය පටන් ගත් තැනම 'ලොප්' වේවිද යන්නය. මයෝමි නතර කළ තැනින් සුනිල් ප්‍රනාන්දු නැවත කතාව ආරම්භ කළේය. ඔහු ද බහුදින යාත්‍රාවක හිමිකරුවෙකි. කාලයක් ඉතාලියේ රැකියාවක නිරතව යහමින් මුදල් හරි හම්බ කරගෙනැවිත් උපතින් උරුම රස්‌සාවට යාත්‍රා හිමිකරුවකු ලෙස එකතු වූ කෙනෙකි. මේ ඔහු කියන කතාවය.
'මේ යාත්‍රා අරගෙන තියෙන්නේ අපේ තියෙන සබ්බසකලමනාවම බැංකුවලට උගස් කරලා. පාඩුවේ අපිට ධීවර රස්‌සාව කරගෙන යන්න දෙනවා නම් බැංකු ලෝන් අපිට මහ ලොකු දෙයක් නෙමෙයි. ඒත් මේ මහා පරිමාණ නැව් කෙරුවාවත් එක්‌ක අපේ පුංචි බෝට්‌ටුවලට මුහුදේ තැනක් නෑ. ඒ වගේම නැව් මාළු එන නිසා අපේ මාළුවලට තියෙන ඉල්ලුමත් අඩු වෙනවා. නැව් මාළුවලට ඇති මිල ගණන්වලට මාළු දීලා අපිට ලොකු ආදායමක් ගන්න බෑ. බෝට්‌ටුවක් මුහුදට පිටත් කරන්නම අපිට රුපියල් ලක්‍ෂ දහයක් පහළොවක් යනවා. ඉස්‌සර වගේ නෙමෙයි දැනටත් අපිට ලොකු ආදායමක් ලැබෙන්නේ නෑ. බහුදින ධීවර කර්මාන්තය කියන්නේ පනහට පනහ ලාභ බෙදෙන බිස්‌නස් එකක්. මුහුදු යන ධීවරයන්ට පනහයි. අපිට පනහයි. ඒත් අපිට ප්‍රශ්නයක් නෑ අපි හැමෝම ධීවරයෝ...'
සුනිල්ගේ කතාව නතර කිරීමට පෙර සුජිත් සමන්ත නැවත කතා කරන්නට විය.
'යුරෝපා සංගමය මහ ලොකු දෙයක් කියන්නේ නෑ. මුහුද නොමරා ආදළ නීතිවලට යටත්ව ක්‍රමානුකූලව ධීවර රස්‌සාව කරගෙන යන්න කියලා විතරයි. ඇත්තටම යුරෝපා සංගමය ඉදිරිපත් කරලා තියෙන්නේ රටට හිතකර යෝජනා මාලාවක්. අපි කියන්නෙත් යුරෝපා සංගමය කියන කතාවමයි. මේ චීන නැව් දාගෙන මහා පරිමාණයෙන් කරන මාළු ඇල්ලීම නතර කරලා දේශීය ධීවරයාට මුල් තැන දෙන්න කියලයි. මහින්ද චින්තනයෙන් කියන්නෙත් දේශීය ධීවරයා නඟාසිටුවනවා කියලා. නමුත් ධීවර අමාත්‍යාංශයෙන් කරන්නේ චීන සමාගම් පෝෂණය කරන එකයි. චීන සමාගම් සමග එකතුව හොරා කෑමයි. අපේ ජාතික කොඩිය නැවට ගහද්දී ලංකාවේ මුහුදේ මාළු ඇල්ලීමට නිකම්ම අවසරය ලැබෙනවා. විදේශිය නැව් ලංකාවේ මුහුදේ මාළු අල්ලන්නේ නෑ කියලා කවුද ගැරන්ටියක් දෙන්නේ. යුරෝපා සංගමය මේ කොන්දේසි ටික ඉදිරිපත් කළේ 2012 අවුරුද්දේ. මේ මාළු කොල්ලය කොටුවෙන නිසා තමයි, යාත්‍රාවලට වෙසල් මොනිටර් සවි කළේ නැත්තේ. අනිත් එක තමයි මේ චීන යාත්‍රා නීත්‍යනුකූල නෑ. මුහුද මැද විශාල මාළු ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා. යාත්‍රා දෙසීයක් තුන් සීයක් පර්සීන් ක්‍රමයට මාළු අල්ලනවා. ඒ කියන්නේ ක්‍රිකට් පිට්‌ටනියක් වහන්න පුළුවන් තරම් විශාල ටෙන්ට් එකක් මීටර් විස්‌සක් විතර යටින් මුහුද මැද එළනවා. ඒ ටෙන්ට් එක යට හෙවණ යටට මාළු ටොන් ලක්‍ෂ ගාණක් එනවා. ටෙන්ට් එක එළලා දවස් දහහතරකට පස්‌සේ ටෙන්ට් එක අකුළල මාළු ටික අල්ලනවා. ලොකු කුඩා සියලුම මාළු අල්ල ගන්නවා. මේ ක්‍රමය භාවිතා කරලා මාළු මරපු නිසා තමයි කැනඩා, චීන මුහුදේ මාළු පැටියෙක්‌වත් නැති වෙලා ගියේ. ලංකාවට ඒ නස්‌පැත්තිය ළඟදීම එනවා. මාළු අල්ලන තරම් බෝ වෙන්නේ නෑ. අපේ ධීවරයෝ පුංචි වැරැද්දක් කළත් අත්අඩංගුවට ගන්නවා. ඒ නැව් කරන මේ විනාශය කවුරුවත් දකින්නේ නෑ. මේ මාළු සම්පත අද කාලා හෙට ඉවර කරන්න හොඳ නෑ. අනාගත අපේ දරුවන්ටත් මේ රස්‌සාව කරගෙන යන්න තියන්න ඕනා. ඔය විදේශීය නීතිවිරෝධී නැව්වලින් මාළු බාන එක... ඒ නැව්වලට බඩු සප්ලයි කරන එක කරන්නේ මෝදර පාතාල කණ්‌ඩායමක්. ඒ කණ්‌ඩායම තමයි ධීවර අමාත්‍යාංශයෙ ඉඳගෙන අපිට ගැහුවේ...' ගලා යන කතාව මුහුදු රළ මෙන් උස් විය. මොහොතක නිහැඬියාවකින් පසු බිඳුණු ස්‌වරයෙන් මයොමි නැවත කතා කරන්නීය.
'ධීවර යාත්‍රාවලට වී.එම්.එස්. උපකරණය සවි කරන එක ඇත්තටම හොඳයි. දැනට අපිට මුහුද මැද ඉන්න ධීවරයා ගැන තොරතුරු දැනගන්න රේඩියෝ මධ්‍යස්‌ථානයක් අමතන්න ඕනා. වෙසල් මොනිටර් යන්ත්‍ර සවි කරපු විට යාත්‍රා හිමිකරුවාට ගෙදර ඉඳලම යාත්‍රාව තියෙන්නෙ කොහේද... හරියට රස්‌සාව කරනවද... කියලා දැනගන්න පුළුවන්. කාලගුණයේ යම් ගැටලුවක් තියෙනවා නම් ඊට අදාළ පිළියම් යොදන්න පුළුවන්. වී.එම්.එස් උපකරණය සවි කෙරුවම වෙනත් මුහුදු සීමාවලට ඇතුළු වෙන එක නතර වෙනවා. හොරෙන් රටවලට ඇතුළු වෙන එක අඩු වෙනවා. ඒ වගේ ගොඩක් පහසුකම් ඇති වෙනවා. රටක් වශයෙන් අපිත් යල් පැන ගිය ධීවර කර්මාන්තයෙන් ඈත්වෙලා දියුණු තාක්‍ෂණයත් සමග ඉදිරියට යන්න ඕනා. දියුණු තාක්‍ෂණයේ පළමු පියවර තමයි ජී.පී.එස් තාක්‍ෂණය මගින් නැව් නිරීක්‍ෂණය කරන එක. මේ වෙසල්ස් මොනිටර් සිස්‌ටම් එක අපේ ධීවර යාත්‍රාවලට සවි කරන්න යෝජනා වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා ධීවර ඇමැති ලෙස ඉන්න කාලේ. වෙසල්ස් මොනිටර් සිස්‌ටම් එක ගැන ජනාධිපතිතුමාටත් හොඳ අවබෝධයක් තියෙනවා. ඒත් ධීවර අමාත්‍යාංශයට මේ කිසිම සිස්‌ටම් එකක් ගැන දැනුමක් නෑ...' මයොමිගේ කතාවට වයික්‌කාල ප්‍රදේශයේ බහුදින යාත්‍රා හිමිකරුවකු වන ආනන්ද ප්‍රනාන්දු ද එකතු විය...
'ධීවර ඇමැතිතුමා කියනවා නැව්වලින් රටට වසරකට ඩොලර් මිලියන තුන්සීයක විදේශ විනිමයක් ලැබෙනවා කියලා. ඒක අමූලික බොරුවක්. එතුමා අපේ මාළුත් එක්‌ක එකතු කරලා තමයි ඒ ආදායම පෙන්වන්නේ. අපි කියනවා පුළුවන්නම් වෙන වෙනම පෙන්වන්න කියලා. චීන, තායිවාන, ජපාන, ඉන්දුනීසියා නැව්වලට ශ්‍රී ලංකා කොඩිය සහිතව මාළු අල්ලන්න අවසර දීලා තියෙනවා. මේ කිසිම නැවකින් රටට ඇති සෙතක් නෑ. වාසිය හොරා කන හොර බළලුන්ට විතරයි. දැන් ධීවර අමාත්‍යාංශය කියනවා යුරෝපයෙන් මාළු ගත්තේ නැත්නම් චීනෙට, රුසියාවට යවනවා කියලා. ඒ කියන්නේ අපි විශ්වවිද්‍යාලයේ ඉඳලා නැවත මොන්ටිසෝරි යනවා වගේ වැඩක්. ඒ වගේම ඒ රටවල අපේ මාළුවලට හරි මිලක් නෑ. යුරෝපීය රටවල අපේ අංක එකේ ටූනා මාළු කිලෝවකට ඩොලර් විසි නවයක් විතර ලැබෙනවා. මිල හැමදාම ස්‌ථාවර නෑ. ඩොලර් විස්‌සටත් යන අවස්‌ථා තියෙනවා. ඒ මාළු වර්ගයම චීන වෙළෙඳපොළේ අලෙවි වන්නේ ඩොලර් පහටත් අඩුවෙන්...'
මේ තහනම ක්‍රියාත්මක කරපු ගමන් විදේශීය නැව් යනවා. නැව් මාළු අපනයනය කරපු සමාගම් හතර දැනටමත් මාලදිවයිනට යන්න සූදානම්. මුහුද කාල උන්ට පැනලා යන්න තැනක් තියෙනවා. අපි කොහේද යන්නේ. හබල අතහැරිලා පාරට වැටෙන ධීවරයන්ට කවුද ජොබ් දෙන්නේ. ආණ්‌ඩුවෙන් අපි අහන්නේ ලක්‍ෂ විසිපහක ධීවර ජනතාවට මොනව වෙයිද... දැනටත් අපි හිනා වෙලා ඉන්නේ මේකට මොකක්‌හරි සහනයක් ලැබෙයි කියලා. ඒත් යටි හිත අපේ පුදුම බයකින් ඉන්නේ. මේ තහනම ක්‍රියාත්මක කළොත් අපි මොනවා කරන්නද... අල්ලන මාළු දේශීය වෙළෙඳපොළට දෙන්නද... එහෙම වුණොත් අපිටත් වෙන්නේ වී ගොවියට, එළවළු ගොවියට වෙච්ච එකේ අනිත් එක...' වෙන්නප්පුව ප්‍රදේශයේ තවත් බහුදින යාත්‍රාහිමිකරුවකු වන කිත්සිරි එසේ කියමින් මුහුද දෙසට නෙත් පා කරමින් දිගු සුසුමක් පිට කළේය. තවත් ධීවරයන් කිහිප දෙනෙක්‌ම කතා කළේය. ඔවුන් කියන්නෙත් අපේ මාළු ගැනීම යුරෝපයට තහනම් කිරීමට ඉඩ නොදෙන එක ගැනය.
ශ්‍රී ලාංකීය ධජය සහිත නව මාළු ඇල්ලීමට විදේශීය නෞකාවලට අවසර ලබා දී තිබේ. ඒ නෞකා සම්මත නීති උල්ලංඝනය කරමින් මුහුදේ මාළු සූරා කති. යුරෝපා සංගමය කාලයක සිට මේ විදේශීය නෞකාවලින් කරන නීති විරෝධී මත්ස්‍ය කොල්ලය හෙළා දකී. මුහුද ජීවිතය කරගත් මෙරට ධීවරයන් කියන්නේ ද අපේ රට අපකීර්තියට පත් කරන විදේශිය නෞකාවලින් කරන මාළු ඇල්ලීම නතර කරන්නැයි කියාය. එහෙත් ධීවර ඇමැතිතුමා කියන්නේ රටේ ධීවර කර්මාන්තය නැංවීමට තව තවත් මාළු ඇල්ලීමට නෞකා යෙදවිය යුතුයි කියාය. මේ හතර බීරි කතාවේ දිග පළල තේරුම් ගැනීම තරමක් අසීරුය.
එහෙත් අපේ රටේ ධීවරයා කාලාන්තරයක සිට කරගෙන ආ මුහුදු රස්‌සාව නැත්තටම නැති වෙන ලකුණු පහළ වෙමින් තිබෙන බව මේ කතාව අසන ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීම ඉතාම පහසුය. රටේ ධීවර කර්මාන්තය වටා ගොඩනැඟුණු කර්මාන්ත වැසේ. ඒ ඇසුරෙහි ජීවත් වූ මිනිසුන්ගේ ජීවිත බිඳ වැටේ. කැරලි උපදී. අප මේ අත්විඳිමින් සිටින්නේ විනයක් නැති රටක දුක්‌බර යථාර්ථයේ ස්‌වරූපයයි...
තරංග රත්නවීර
Divaina 2 Nov. 2014